ඉන්දීය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් ජනාධිපතිතුමාට උත්කර්ෂවත් පිළිගැනීමක්

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හිදී නිල වශයෙන් පිළිගනු ලැබීය.
ජනාධිපති දිසානායක අශ්වාරෝහක පෙළපාලියකින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවාගෙන යාමත් සමඟ චාරිත්‍රානුකූල පිළිගැනීමේ උත්සවය ආරම්භ විය. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙම අවස්ථාව පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සනිටුහන් කරමින් තුවක්කු 21කින් ආචාර සමාචාරයක් ද ඇතුළත් විය. විධිවිධානවලින් අනතුරුව ඉන්දීය ත්‍රිවිධ හමුදාව විසින් පිරිනමන ලද ගෞරව සම්මාන මුරයක් ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
ඉන් අනතුරුව දෙරටේම නියෝජිතයින් නායකයින් වෙත හඳුන්වා දෙනු ලැබීය. මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිතුමා රාජ්‍ගාට් හි මහත්මා ගාන්ධි ස්මාරකය වෙත ගොස් උපහාර දැක්වීමට ගියේය. ඔහුගේ ප්‍රථම නිල විදේශ සංචාරය සැමරීම සඳහා ඔහු රාජ්ගාට් අසල ගාන්ධි දර්ශන් පරිශ්‍රයේ අශෝක ගසක් රෝපණය කර අමුත්තන්ගේ පොතට අත්සන් කළේය.
ඉන් අනතුරුව පස්වරුවේ ජනාධිපති දිසානායක මහතා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මීට අමතරව, ඔහු අද රාත්‍රියේ ජනාධිපති ද්‍රෞපදි මුර්මු සමඟ හමුවක් පවත්වනු ඇත.
තවද, ශ්‍රී ලංකාවේ විභව ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරික නායකයින් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.