කොළඹ බලය කාටද?

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන විට දැවැන්ත බල “පොරයක්” නිර්මාණය වී තිබෙනවා.

ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව සඳහා ඡන්ද 81814ක් ගෙන සියයට 36.92ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර සභික ධුර 48ක් ලබා ගත්තා.

දෙවැනි තැනට පත් සමගි ජන බලවේගය ඡන්ද 58375ක් ලබා ගනිමින් සියයට 26.34ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් සභික ධුර 29ක් ලබා ගෙන තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සභික ධුර 59ක් අවශ්‍ය වන අතර ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් සභික ධුර 11ක අවශ්‍යතාවය පවතිනවා.

සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට තවත් සභික ධුර 30ක් අවශ්‍යයි.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,එක්සත් සාම සන්ධානය,සර්වජන බලය,පොදු ජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ඇතුළු ස්වාධීන කණ්ඩායම් විසින් කොළඹ මහ නගර සභාවේ සභික ධුර 40ක් අත්පත් කරගෙන ඇති අතර ප්‍රධාන පක්ෂ දෙක විසින් එම සභිකයන් තමාගේ ගොඩට දිනා ගැනීම සඳහා දැඩි අරගලයක නිරත වන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පවසා තිබුණේ ජන වරමේ අපේක්ෂාව අනුව ඉදිරියේදී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටවෙනු ඇති බවයි.

ජනතාව විසින් ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාව සඳහා පැහැදිලි වැඩි බලයක් ලබා දී තිබෙන බව පවසා තිබෙන ඔහු එම ජනවරමට සාධාරණයක් වන තීරණයක් කොළඹ මහ නගර සභාවට ලැබෙනු ඇති බව පවසා තිබෙනවා.

සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසා තිබෙන්නේ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ සමඟ සාකච්ඡා සියයට අනූවකින් අවසන් වී ඇති අතර තම පක්ෂය අනිවාර්යයෙන්ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *