|

ට්‍රම්ප් එක්ක ගැටෙමින්ඊලොන් හදන අලුත් පක්ෂයටදුර යන්න හැකි වෙයිද?

ලෝකයේ ධනවත්ම මිනිසා වන ඊලොන් මස්ක් දේශපාලන පක්ෂයක් ඇරැඹීමට යන පුවත දින කිහිපයකට පෙර අසන්නට ලැබිණි. සල්ලි මත කරණම් ගසන දේශපාලන ලෝකය මේ ධනවත්ම මිනිසාගේ දේශපාලන ප්‍රවේශයෙන් පසු කුමන මුහුණුවරක් ගනු ඇත්දැයි කාටත් ඇත්තේ කුකුසකි. මෙම සිදුවීම වන්නේද ලෝකයටම බලපෑම් කළ හැකි තරමට බලවත් රටක් වන ඇමරිකාවේය. මේ වන විට ඩිජිටල් සහ අන්තර්ජාල මත පදනම් වූ තොරතුරු තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයේ බලවන්තයා බවටද පත්ව සිටින ඊලොන් මස්ක්ගේ දේශපාලන

යාත්‍රාව ඇරැඹෙන්නේද ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් නිසාය. ට්‍රම්ප්ගේ අඹ යහළුවාව සිට කෙටි කලකින් පසමිතුරා බවට පත්ව සිටින ඊලෝන් මස්ක්ගේ මේ දේශපාලන ගමන සාර්ථක වේද? එසේ නැති නම් නාහෙට නාහන ට්‍රම්ප් සමඟ ගැටුමක් ඇති කරගත් ඔහුට යන එන මං නැතිවේදැයි දන්නේ දෙවියන් පමණකි. අප හමුවේ නාට්‍යානුසාරයෙන් දිගහැරෙමින් පවතින මෙම කතාව ගැන විදෙස් මාධ්‍යයන්ගේ විමසුම් ඇසද යොමුවී තිබේ. ප්‍රකෝටිපති ව්‍යාපාරික ඊලොන් මස්ක් තමා නව පක්ෂයක් දියත් කළ බව නිවේදනය කළේ ඉකුත් සෙනසුරාදාය. ඒ ඔහුගේ x සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමිනි. ඇමරිකාවේ ඡන්දදායකයන්ගෙන් 8ක් තම පක්ෂය සමඟ එක්වනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කළේය.

ඊලොන් මස්ක්ගේ ධනවත්කම ඇමරිකන් ඩොලර් බිලියන 367කට ආසන්න ලෙස තක්සේරු කර තිබේ. මූලික වශයෙන් ඔහු මෙම වත්කම් උපයා ගත්තේ ඔහුට අයත් වූ ටෙස්ලා (Tesla) සහ ස්පේස් එක්ස් (Spacex) හරහාය. 2024 වසර අවසන් වන විට ඊලොන්ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 400 ඉක්මවා ගියේය. මෙලොව කිසිවකු එවන් ධනස්කන්දයක් කරා ළඟා වී නොමැති බව අන්තර්ජාල දත්ත පෙන්වාදෙයි.

ඇමරිකාවේ ජනාධිපති ලෙස දෙවැනි වතාවට තේරී පත්වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට මහෝපකාරී වූයේ ඊලොන් මස්ක්ගේ මේ ධනස්කන්දය බව කියැවේ. ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය අවසන් වෙද්දී ඊලොන් මස්ක් විසින් ඒ සඳහා වැය කොට තිබූ මුදල ඇ.ඩො. බිලියන 277ක් බව අනාවරණය වී ඇත. මෙය තනි පුද්ගලයකු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ප්‍රදානය කළ විශාලතම මුදල ලෙස සඳහන්ය.

තමාට මෙසේ ආධාර කළ ලෝකයේ අංක එකේ ප්‍රකෝටිපතියා කාලය සමඟ ට්‍රම්පගේ සමීපතම මිතුරා බවට පත් වෙමින් තිබිණි. විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් නැවත ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් තමා යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ඇරඹූ ‘රාජ්‍ය ආයතන කාර්‍යක්ෂම කිරීමේ දෙපාර්තමේන්තුවේ (DOGE) හි ප්‍රධානියා ලෙස මෙම ධනවතාව පත් කළේය. එකල පළ වූ වාර්තා අනුව ඊලොන් මස්ක් එහි රාජකාරිය සඳහා පුදුමාකාර ලෙස වෙහෙස මහන්සි වූයේය. ඇතැම් දිනයක ඔහු තම නිවෙසට නොගොස් DOGE හි බංකුවක හෝ පොළොවේ සැතැපී රැය පහන් කළ බවද වාර්තා විය.

කෙසේ නමුත් පසුව ලෝකයටද ප්‍රශ්නයක් වූ ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය විවේචනය කිරීම හේතුවෙන් ට්‍රම්ප් සහ ඊලොන් මස්ක් අතර එදිරිවාදිකමක් ඇති විය. එය ඊලොන් මස්ක් හෙබ වූ DOGEහි ප්‍රධානත්වයෙන් ඔහු ඉල්ලා අස්වීමටද හේතු විය. එහෙත් දෙදෙනා අතර විරසකය එතැනින් නොනැවතිණි. දෙදෙනා එකිනෙකා වෙත ඇනුම්පද කියා ගත් අවස්ථාද ඉතිහාසයට එක්වන්නට විය. අවසානයේදී ට්‍රම්ප් වරෙක කියා තිබුණේ දකුණු අප්‍රිකාවේ උපන්නකු වන ඊලොන් මස්ක් නෙරපීමට කටයුතු කරන බවයි.

රජයේ ඉහළ වියදම් කෙරෙහිද ඊලොන් මස්ක් ඔහුගේ අප්‍රසාදය පළ කළේය. ට්‍රම්ප් විසින් මෑතදී ඉදිරිපත් කළ සහ නීතියක් ලෙස මේ වන විට සම්මත වී ඇති ට්‍රම්ප්ගේ Big Beautiful Bill නමින් ප්‍රකට පනතටද ඊලොන් මස්ක් දැඩි ලෙස විරුද්ධතාව දැක්වීය. ජනාධිපති ට්‍රම්ප්ගේ දැවැන්ත බදු ප්‍රතිපත්තිය සහ වියදම් පනත සම්මත වුවහොත් ඇමරිකාවට නව පක්ෂයක් හඳුන්වා දීමට තමා කටයුතු කරන බවට ප්‍රතිඥා දී සිටි මස්ක් එම පනත සම්මත වූ දිනම නව පක්ෂයක් දියත් කළ බව නිවේදනය කළේය.

කාලයක් තිස්සේ ව්‍යාපාරිකයන් දේශපාලනයට ඍජු ලෙස ඇඟිලි ගැසීමක් ලෝකයේ දක්නට නොවීය. ඒ වෙනුවට ඔවුන් කළේ දේශපාලනඥයන්ට පිටුපසින් සිටිමින් මුදල් වැයකොට තමන්ට වාසිදායි අන්දමින් කටයුතු සිද්ධ කර ගැනීමට දේශපාලනඥයයන් මෙහෙයවීමය. අප රටේද දක්නට ලැබෙන මෙම තත්ත්වය ඇමරිකාවටද පොදු විය. එහෙත් ඊලොන් මස්ක් ඇමරිකාවේ පාලනය ලබා ගැනීමට සැරසෙන පළමු ව්‍යාපාරිකයා නොවන බව පෙනී යන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් දෙස අවධානය යොමු කරද්දීය. ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඊලොන් මස්ක් තරම්ම නොවූවත් මහා පරිමාණ ව්‍යාපාරිකයකි.

මේ අනුව බලන කල අපට පෙනී යන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් මේ වන විට මූල්‍ය බලය ඇති තම අත මතටම පාලන බලය ලබා ගැනීම සඳහා ඍජුව ඉදිරියට පැමිණෙමින් සිටින බවකි.

කුමන ආකාරයක මුදල් බලයක් තිබුණද රටක පාලන බලය ඇල්ලීමද ලෙහෙසි පහසු වැඩක් නොවේ. ඒ සඳහා විශාල ශක්‍යතාවක් පැවැතිය යුතුය.

ඊලොන් මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දේශපාලනික කටයුතුවලට යාවී අත්දැකීම් ලබා ගත් බව සැබෑවකි. එහෙත් ඒ ඉතා කෙටි කාලයකි. එහෙයින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රතිවාදීව අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ඒ හරහා පාලන බලය තම අතට ලබා ගැනීමට තරම් හැකියාවක් ඊලොන් මස්ක් තුළ ගැබ්ව ඇත්ද යන කුකුසද ඕනෑම අයකු තුළ ඇතිවිය හැක්කකි.

තවත් අතකින් මෙම කරුණ ගැන සලකා බලද්දී ඇමරිකාව වසර දෙසීයකට වඩා වැඩි කාලයක් ද්විපක්ෂ ක්‍රමය ක්‍රියාත්මක වූ රටක් බව අමතක කළ නොහැකිය. ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන්නේ ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයයි. එම පක්ෂ දෙකට වෙනස් වූ ප්‍රමුඛතාවන් පවතින අතර ජන්දයෙන් තේරී පත්වන පක්ෂයේ මන්ත්‍රි අසුන් සංඛ්‍යාව අනුව පාලන බලයේ හිමිකාරත්වය තීරණය වෙයි.

මෙසේ කලක් තිස්සේ ද්විපක්ෂ ක්‍රමයක් පැවැතියද ඇමරිකාව සිය ව්‍යවස්ථාව තුළින් පක්ෂ දේශපාලනයට ඉඩ සලසා නැත. වෙනත් නීති සහ පක්ෂ ව්‍යවස්ථා මත එම පක්ෂවල බලය පවත්වාගෙන යයි.

ඇමරිකාවේ පවතින ප්‍රධාන පක්ෂ දෙක වන රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකට අමතරව හරිත පක්ෂය ආදී සුළු පක්ෂ ගණනාවක්ද ඇත. නමුත් මැතිවරණයකදී එම පක්ෂවලට කැපී පෙනෙන ආසන ගණනක් ලබා ගැනීමට නොහැකිය. එහෙයින් පාලන බලය ලබා ගැනීම උගහට වන අතර බලය හුවමාරු වන්නේ ප්‍රධාන පක්ෂ දෙක අතර වීම තුළ ඇමරිකාව ද්විපක්ෂ ක්‍රමයක් පවතින රටක් ලෙස හඳුන්වයි. ඊලොන් මස්ක් තෙවැනි පක්ෂයක් දියත් කරන්නට යන්නේ මෙවන් බිමකය.

ඊලොන් මස්ක් වරින් වර බලය හුවමාරු කරගෙන පාලනය කරන රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙක රටේ දූෂණයට සහ නාස්තියට කටයුතු කරන බවට චෝදනා නඟයි. මස්ක්ගෙන් එන තර්කය වන්නේ රටේ දූෂණයට සහ නාස්තියට හේතු වී ඇති මෙම ප්‍රධාන පක්ෂ දෙකක් නොව එකක් බවයි. ඒ අනුව ඔහු දියත් කරන අලුත් පක්ෂයට ඉඩක් ඇති බව ඔහු පෙන්වාදෙයි.

මස්ක් තම නව පක්ෂය ‘ඇමරිකා’ යනුවෙන් නම්කර තිබේ. මස්ක්ගේ ඇමරිකා පක්ෂය ලියාපදිංචි කර තිබෙන්නේද යන්න ගැන තවම තොරතුරු ලැබී නැත. තම පක්ෂය ‘ඇමරිකානු ජනතාවගේ නිදහස නැවත ඔවුන්ට ලබාදීමට කටයුතු කරනවා’ යනුවෙන් මස්ක් කියා තිබේ.

නමුත් ඊලොන් මස්ක් විසින් දියත් කෙරෙන පක්ෂයකට මුහුණදීමට අභියෝග ඇති බව වොෂිංටන් පෝස්ට් පුවත්පත මඟින්ද පෙන්වාදී තිබිණි.

ඉන් එක් අභියෝගයක් වන්නේ ආයතනික බාධාවන් සහ මැතිවරණ නීතීන්ය. ඇමරිකානු මැතිවරණයක ඡන්ද කොට්ඨාසයක් නියෝජනය කරමින් ජයග්‍රහණය කරන්නා එම ඡන්ද කොට්ඨාසයේ සියලු ආසන හිමි කරගනී. එහෙයින් තෙවැනි පක්ෂයකට පිළිගැනීමක් නොපවතී. සුළු පක්ෂවලට ලැබෙන්නේ ඔවුන් ලබා ගන්නා 20%-30%ක් පමණ වන ඡන්ද ප්‍රතිශතය අනුව වෙන් වන අසුන් සංඛ්‍යාවක් පමණි.

මස්ක්ට විවිධ ප්‍රාන්තවල අපේක්ෂකයන් දිනාගෙන ඔවුන් හරහා තෙවැනි පක්ෂයක ජනාධිපති අපේක්ෂකයා වීමකදීද ඡන්ද ලබා ගැනීම සඳහා විවිධ අවශ්‍යතා පූරණය කිරීමට සිදුවෙයි.

නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමේදී ප්‍රාන්තයන්හි මෙන්ම මධ්‍යම රජයේ මැතිවරණ කොමසාරිස්වරුන් දක්වන නීති-රීති රෙගුලාසිවලට අනුකූල විය යුතුය. විශේෂයෙන්ම පදිංචිය පිළිබඳ අවශ්‍යතා සහ ඡන්දදායකයන්ගේ අස්සන සහිත ප්‍රකාශ අවශ්‍ය වෙයි.

ප්‍රධාන පක්ෂ දෙකට අමතර පක්ෂ ඇමරිකාවේ ඕනෑ තරම් තිබී ඇත. එහෙත් එම පක්ෂවලට ඇති ජාතික ආකර්ෂණය සීමා සහිතය.

අවසන් වරට ඇමරිකාවේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන ප්‍රධාන පක්ෂ දෙකට අයත් නොවූ ජනාධිපතිවරයකු සිට ඇත්තේ 1968දීය. ඔහු ජොර්ජ් වොල්ස් ය.

බිලියනපතියකු වූ රොස් පෙරොට් හට 1992දී ලබාගත හැකි වූ ජන්ද ප්‍රතිශතය 19%කි. එකදු ඡන්ද විද්‍යාලයක්වත් දිනාගැනීමට නොහැකි විය.

ඊළඟ වසරේ මැද පැවැත්වෙන මධ්‍යම වාර ඡන්ද විමසීමට සහභාගි වන බව ඊලොන් මස්ක් ප්‍රකාශ කර තිබිණි. ප්‍රධාන සෙනෙට් සභිකයන් කිහිපදෙනකු දිනාගනිමින් ව්‍යවස්ථාදායකයේ අසුන් කිහිපයක් ලබා ගැනීම මස්ක්ගේ ඉලක්කය බව කියා තිබේ. කෙසේ නමුත් මේ ඉලක්කගත පිරිස අතරද නොයෙකුත් බෙදීම් පැවතිය හැකිය.

අනෙක් කාරණය වන්නේ කලක් තිස්සේ පැවැති දැන හැඳීම් ඇති ප්‍රධාන පක්ෂ දෙක වෙත මිනිසුන්ගේ ඇති නැමියාව සහ බැඳිනීමයි. ඊලොන් මස්ක්ගේ නව පක්ෂයට මෙම බැඳීම් කඩාගෙන ජනතාවගේ හදවතට සමීප වීමට හැකි වේද යන්නද ප්‍රශ්නයකි.

ඊලොන් මස්ක් හට සහ ඔහුගේ නව පක්ෂයට අමරිකාව තුළ මතුවිය හැකි අභියෝග මෙලෙස විශ්ලේෂණාත්මකව දැකීමට මේ වන විට දේශපාලන විශ්ලේෂකයන් කටයුතු කරමින් සිටින බව පෙනේ.

ඒ අතර ඊලොන් මස්ක් නව දේශපාලන පක්ෂයක් සෑදීමට සැලසුම් කිරීම හාස්‍යජනක බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද උපහාසයෙන් කියා ඇත.

තමන් වරෙක නාසා ආයතනයට නම් කළ මස්ක් නම් සගයාට අභ්‍යවකාශය තුළ ඇති ව්‍යාපාරික අවශ්‍යතා සහ මේ අතර නොපෑහීමක් ඇති විය හැකි බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සමච්චලයට මෙන් පවසා තිබේ.

”අපි රිපබ්ලිකන් පක්ෂය විදිහට අතිමහත් ජයග්‍රහණයක් ලබාගෙන ඉන්න මේ වෙලාවේ තුන්වැනි පක්ෂයක් හැදීම විහිළුවක්. ඩිමොක්‍රටික් පක්ෂය මඟදී පරාජය වුණත් ඇමරිකාව කියන්නෙ ද්වි පක්ෂ ක්‍රමයක් තියෙන රටක්. මට හිතෙන විදිහට තුන්වැනි පක්ෂයක් හදන එකෙන් වෙන්නෙ අවුලක් වෙන එක විතරයි” යනුවෙන් ට්‍රම්ප් වාර්තාකරුවන් අමතා ප්‍රකාශ කර තිබේ.

ට්‍රම්ප් තවදුරටත් කියා ඇත්තේ ”ඇමරිකාව හැදිලා තියෙන්නේ පක්ෂ දෙකකටයි. තුන්වැනි පක්ෂයකින් කවදාවත් වැඩක් වෙන්නේ නෑ. ඉතින් අපිට ඒකෙන් විනෝදයක් ලබා ගත හැකියි. නමුත් මට නම් හිතෙන්නේ මේක හාස්‍යජනකයි” යනුවෙනි.

ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍යයේ මස්ක් ගැන සඳහන් කර තවත් සටහනක් තබමින් මෙසේද කියා ඇත.

”ඊලොන් මස්ක් මුළුමනින්ම අප හැර වැරැදි පීල්ලක යෑම ගැන මට කනගාටුයි. එය පසුගිය සති පහ තුළ දුම්රිය සුන්බුන් වෙත නිසැකයෙන්ම යන පාර වුණා”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *