ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනපති මහත් හරසරින් පිළිගනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පෙබරවාරි 11 සිට 13 දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵවට [(WGS) – 2025] සහභාගී වීම සඳහා මෙරටින් බැහැරව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඊයේ (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වී තිබේ.

එහිදී ජනාධිපති ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන ඇත. මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා ආර්නෝල්ඩා, ඩුබායි සහ උතුරු එමීරයන් සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ඇලෙක්සි ගුණසේකර ඇතුළු ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගි වී සිට තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවිය. මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.

අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක ඩුබායිහි පිහිටා ඇති සුප්‍රසිද්ධ අනාගත කෞතුකාගාරයේ (Future Museum) පැවැත්වෙන ‘TIME 100 Gala Dinner’ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි විය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟින් මෙම සංචාරයට එක්ව සිටිති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *