දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ ගුරුවරුන්ගේ ආකල්ප සහ ක්‍රියා කලාපය මතයි
සියලුම දරුවන්ගේ අනාගතය තීරණය වන්නේ ගුරුවරුන්ගේ ආකල්ප සහ ක්‍රියාවන් මත බවත් ගුරු – ශිෂ්‍ය සබඳතාව උසස්ම තත්ත්වයෙන් තිබිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) යාපනය කෝපායි ප්‍රදේශයේ පැවති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 25 වන සංවත්සර උත්සවයට එක්වෙමින්.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ.
අපගේ ජාතික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට සහ සැබෑ ශිෂ්ට සම්පන්න සහ සංවර්ධිත රටක් පෝෂණය කිරීම සඳහා උසස් තත්ත්වයේ අධ්‍යාපන ක්‍රමයක් අත්‍යවශ්‍ය වේ. රටේ අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කර තිබෙනවා.
සෑම දරුවෙකුටම උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශය තිබිය යුතුය. මේක තමයි අපේ රජයේ අරමුණ.
කිසිම දරුවෙකුගේ අධ්‍යාපන අයිතිය අහිමි නොකළ යුතුයි. අපගේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළු වන සෑම සිසුවෙක්ම සමාජයට ඒකාග්‍ර වී අනාගත ලෝකයේ අභියෝගවලට මුහුණ දීමේ ආත්ම විශ්වාසය වර්ධනය කර ගත යුතුය.
මෙම දැක්ම යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමට අපි වෙහෙස නොබලා කටයුතු කරන්නෙමු. මේ ගමනේදී ගුරුවරුන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. දරුවන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සහ හිතකර ඉගෙනුම් පරිසරයක් සහතික කිරීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ගුරුවරුන්ගේ නිපුණතාවය, කැපවීම සහ ආකල්ප මෙන්ම ගුරු-ශිෂ්‍ය සම්බන්ධතාවයේ ගුණාත්මකභාවය මතය.
දරුවන්ගේ ජීවිතයට සැලකිය යුතු බලපෑමක් කිරීමට ගුරුවරුන්ට බලය ඇත. ඔවුන් දරුවාගේ අනාගතයට බාධා කරනවාද, පෝෂණය කරනවාද යන්න තීරණය වන්නේ ඔවුන්ගේ ආකල්ප සහ ක්‍රියාවන් අනුවයි.
අනාගත අධ්‍යාපනඥයින් ලෙස විද්‍යාලයේ සියලුම උපාධිධාරීන්ට දැඩි වගකීමක් පැවරෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය. ඉගැන්වීම හුදු වෘත්තියක් නොව උදාර වෘත්තියක් වන අතර දරුවන්ගේ අනාගතය මෙන්ම ජාතියේ අනාගතය ද පවතින්නේ ගුරුවරුන් අතේය.
මෙම උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු නිලධාරීන් විසින් විද්‍යාලයේ පහසුකම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර විද්‍යාලයේ පවතින අඩුපාඩු හඳුනා ගන්නා ලදී.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, උතුරු පළාත් ආණ්ඩුකාර එන්.වේදනායගම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, රාජ්‍ය නිලධාරීන්, විද්‍යාල පීඨාධිපතිවරුන්, සිසුන්, ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගි වූහ.