දැඩි ආර්ථික පසුබෑමෙන් යළි නැගිටින්නැයි ජනපති අපනයනකරුවන්ට ආරාධනා කරයි
ශක්තිමත් ආර්ථික පදනමක් නැවත ගොඩනඟා සමෘද්ධිමත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ආරාධනා කළේය.
සාපේක්ෂ දුර්වල තත්ත්වයක සිට වෙළෙඳපොළ කොටස අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී සිටින බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. මෙය ජය ගැනීම සඳහා බාහිර සහය ලබා ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ඔහු අවධාරණය කළේ වත්මන් ආර්ථික ස්ථාවරත්වය මත යථා තත්ත්වයට යලි නගා සිටුවීම සඳහා රජය සහය ලබාදීමට සූදානම් බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදීය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල ඊයේ (07) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් අපනයනකරුවන් ඇගයීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණයි.
ජනාධිපතිතුමා විසින් පිරිනමනු ලබන ජනාධිපති අපනයන සම්මානය අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකීය අපනයනකරුවන් සඳහා පිරිනැමෙන ඉහළම ගෞරවයයි.
1981 දී EDB විසින් ආරම්භ කරන ලද ජනාධිපති අපනයන සම්මාන වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉහළම අපනයනකරුවන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලැබේ. 2023/24 මුදල් වර්ෂය සඳහා වූ සම්මාන උළෙල මෙවර පැවැත්විණි.
නිෂ්පාදන හා සේවා කාණ්ඩ යටතේ ප්‍රධාන සම්මාන 14ක් සහ සම්මාන 51ක් පිරිනැමුණු අතර, වසර තුනක් සඳහා ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිත කිරීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව හිමි විය.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර ආර්ථික පාර්ශවකරුවන් ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසයේ තීරණාත්මක වැදගත්කම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
වත්මන් වෙළෙඳපොළ කොටස් යළි ලබාගැනීම සඳහා පවතින තරගකාරීත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාව මුහුණදෙන මූලික අභියෝගය වන්නේ වෙළෙඳපොළෙන් සැලකිය යුතු කොටසක් ලබා ගැනීම බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ගෝලීය වෙළෙඳපොළ අන්තර් සම්බන්ධිත ජාලයක් බවට පත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. මෙම වෙළඳපොලේ ප්‍රධාන කොටස්කරුවෙකු වීමට නම් ශ්‍රී ලංකාවට වාසිදායක වෙළඳ ගිවිසුම් වල නිරත විය යුතු බව ඔහු අවධාරණය කළේය. වෙලඳපොල විනිවිද යාම සඳහා ආක්‍රමණශීලී, නොසැලකිලිමත් ප්‍රවේශයන් සාර්ථක නොවනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය, උපායමාර්ගික, කල්පනාකාරී මැදිහත්වීමක අවශ්‍යතාවය අවධාරණය කළේය.
ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන සමඟ වෙළෙඳපොළට පැමිණීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය. ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රවණතාවලට අනුකූලව ගෝලීය වෙනස්කම්වලට ප්‍රතිචාර වශයෙන් නව භාණ්ඩ හා සේවා සැපයීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ඔහු අවධාරණය කළේය.
විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සඳහන් කළේ බලශක්ති පිරිවැයේ දීර්ඝ කාලීන ස්ථාවරත්වයක් පවත්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සඳහා රජය ප්‍රමුඛත්වය ලබා දෙන බවයි. ඉදිරි වසර කිහිපය තුළ පිරිවැය අඩු කිරීමට සහ ස්ථාවර මිලක් සහතික කිරීමට උත්සාහ කරමින් සිටින බව ඔහු පැවසීය.
ජාතියේ ආර්ථිකය නව තලයකට ගෙන ඒම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. කුඩා හෝ නොමග යන තීරණ පවා ආර්ථිකයට සැලකිය යුතු අයහපත් බලපෑම් ඇති කළ හැකි බවත්, එබැවින් ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීම ඉතා කල්පනාකාරීව හා දූරදර්ශී විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
ජාතියේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ශක්තිමත් ආර්ථික පදනමක් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන අපනයනකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට රජය පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපතිතුමා සිය අදහස් දැක්වීමේදී සහතික විය.
අවසාන වශයෙන්, ආර්ථික ප්‍රකෘතියේ සහ වර්ධනයේ අභියෝගවලට ඵලදායී ලෙස ගමන් කිරීම සඳහා සහයෝගීතාවයේ සහ අන්‍යෝන්‍ය අවබෝධයේ වැදගත්කම අවධාරණය කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා එක්වන ලෙස ජනාධිපතිතුමා ශ්‍රී ලංකා අපනයනකරුවන්ට ආරාධනා කළේය.
මෙම උත්සවයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක මංගල විජේසිංහ, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව යන මහත්ම මහත්මීන් ඇතුළු විවිධ මැති ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලදාරීන් ද මෙයට සහභගි වුහ.