නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පැය 24 පුරාම මෙහෙයුම්

ශ්‍රී ලංකා රේගු සහ වරාය ආශ්‍රිත සේවා ආයතන නියෝජිතයන් සමඟ ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේ පවතින ප්‍රමාදයන් විසඳීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැදගත් එකඟතා කිහිපයකට එළැඹිණි.

ඉදිරි දින 4 තුළ එම ප්‍රමාදයන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය ආයතන මුහුණ දෙන ගැටලු මෙන්ම වරාය සේවා සපයන්නන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද ඔහු සවිස්තරාත්මක සාකච්ඡාවක නිරත විය. වරාය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා, වත්මන් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලූ පාර්ශ්වවල ඒකාබද්ධ ප්‍රයත්නයක කාලීන අවශ්‍යතාව අවධාරණය කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් එක්ව ක්ෂණික විසඳුමක් සඳහා එක්ව කටයුතු කිරීමට එකඟ විය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ මෙම ක්‍රියාවලියට අදාළ මූල්‍ය අවශ්‍යතා ඇත්නම් ඒවා වරාය අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි බවයි. මීට අමතරව, බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියේදී නියමිත වේලාවට සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන ලිපිකරු කාර්ය මණ්ඩලයට එරෙහිව විනය පියවර ගන්නා ලෙස පෞද්ගලික සංගම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. තම සේවකයන් කඩිනමින් සේවයට වාර්තා කිරීම ඒ ඒ පෞද්ගලික ආයතනවල වගකීමක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම කඩිනම් නිෂ්කාශන ක්‍රියාවලිය ජූනි 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව ද සඳහන් කළ අමාත්‍ය රත්නායක මහතා, වරාය, රේගුව සහ පෞද්ගලික සේවා සපයන්නන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් එකම ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *