පූජා භූමි වල බහුලව ගැවසෙන සතුන් සංගණනයට සැරසෙයි
කෘෂි බෝග සඳහා හානි කරන සතුන් බහුලව ගැවසෙන පූජා භූමි ඇතුළු ප්‍රදේශවල එම සතුන් සංගණනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගැනීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්යක්ෂ (කෘෂි ව්‍යාපාර) එම්.ජී. අජිත් පුෂ්ප කුමාර පැවසීය.
රිළවා, වඳුරා, මොනරා සහ දඬුලේනා යන කෘෂි බෝගවලට හානි කරන සතුන් සංගණනය මෙමස 15 වැනිදා (සෙනසුරාදා) පෙරවරු 8 සිට 8.05 දක්වා විනාඩි පහක කාලයක් දිවයින පුරා කිරීමට කටයුතු යොදා තිබේ.
පූජා භූමි ආශ්‍රිතව රිළවා ආදී සතුන් බහුලව ගැවසෙන බැවින් එම සතුන් ගණනය කිරීමට විශේෂ කණ්ඩායම් යොදවන බවද අධ්යක්ෂවරයා පැවසීය.
පූජා භූමි ආශ්‍රිතව බහුලව ආහාර සහ පලතුරු තිබීම නිසා රිළවු එම ස්ථානවල බහුලව ගැවසෙන බවත්, ස්වභාවික පරිසරයෙන් දළු සහ කොළ ආහාර සොයා ගන්නවා වෙනුවට එම ආහාර භුක්ති විදීමට එම සතුන් හුරුවී සිටින බවත් ඔහු කීවේය.
රිළවා සර්ව භක්ෂක සතෙකු බැවින් මෙලෙස සෑම දේම ආහාරයට ගැනීම නිසා එම සතුන්ගේ ප්‍රෝටීන් මට්ටම, කාබෝහයිට්රේට් ප්‍රමාණය ඉහළ යන බවත්, මෙම තත්ත්වය රිළා ගහණය ඉහළ යාමට බලපාන බවත් ඔහු පැවසීය.