2030 වන විට පිළිකා රෝගීන්ගේ වාර්ෂික වර්ධනය 23% ක පමණ වූ තියුණු වැඩිවීමක්

ලෝකය පුරා මෙන්ම දැන් ලංකාව තුළ ද සැඟවුණු මාරකයක් හීන්සීරුවේ ජීවිත බිලිගනිමින් ශීඝ්‍රව පැතිර යයි. ඒ සියවස් ගණනාවක් තිස්සේ මිනිසා මුහුණදෙන දරුණුතම සෞඛ්‍ය ගැටලුව වන පිළිකා රෝගයයි‍. 2018 සිටම ලංකාව තුළ පිළිකා පැතිරීමේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය කර ඇත. 2018 වසරේ අලුතින් හඳුනාගත් පිළිකා රෝගීන් 23,530 ක විස්මිත සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, පිළිකා ආශ්‍රිත මරණ 14,013 ක්ද වාර්තා විය. 2023 දී නව පිළිකා රෝගීන් 33000 කට වැඩි පිරිසක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 19000 ක් තරම් විය.

ඉහත දත්ත මගින් කළ පුරෝකථන අනුව 2030 වසර දක්වා පිළිකා රෝගීන්ගේ අපේක්ෂිත වාර්ෂික වර්ධනය 23% ක පමණ වූ තියුණු වැඩිවීමක් විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. පිළිකා සම්බන්ධ අන්තර්ජාතික දත්ත එකතුව වන GLOBOCAN විසින් ශ්‍රී ලංකාව සඳහා සපයන ලද ඇස්තමේන්තුවලට අනුව පිළිකා ආශ්‍රිත රෝගාබාධ සහ මරණ අනුපාතය ජාතියේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මත අසුබවාදී ආතතියක් මතුකර තිබේ.

මෑතකදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පිළිකා ඒජන්සිය, හෙවත් පිළිකා පිළිබඳ පර්‌යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ඒජන්සිය (IARC) රටවල් 115 ක පිළිකා සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ගෝලීයව 2022 දී නව පිළිකා රෝගීන් මිලියන 20 ක් සහ මරණ මිලියන 9.7 ක් ඇස්තමේන්තු කර ඇත. පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු වසර 5 ක් තුළ ජීවත් වූ පුද්ගලයන්ගේ ඇස්තමේන්තුගත සංඛ්‍යාව මිලියන 53.5 කි. පුද්ගලයන් 5 දෙනකුගෙන් එක් අයකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පිළිකා ඇතිවන අතර, ආසන්න වශයෙන් පිරිමින් 9 දෙනකුගෙන් එක් අයෙක් සහ කාන්තාවන් 12 දෙනකුගෙන් එක් අයෙක් මෙම රෝගයෙන් මිය යති. මේ අනුව ලෝකයේ ප්‍රධානතම මාරක ගැටලුව බවට තවමත් පිළිකාව පත්ව ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

කාන්තාවන් අතර හැදෙන ශ්‍රී ලංකාවේ බහුල පිළිකා වර්ග වන්නේ පියයුරු පිළිකාව, තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකාව, ගැබ්ගෙල පිළිකාව, ගුද පිළිකාව සහ ඩිම්බකෝෂ පිළිකාවයි. පිරිමින් අතර බහුල පිළිකා වර්ග වන්නේ මුඛ පිළිකාව, පෙනහළු පිළිකාව, පුරස්ථි ග්‍රන්ථි පිළිකාව, අක්මාව පිළිකාව ආදියයි.

පිළිකා රෝගයට ගොදුරු වීමට බලපාන ආසන්නම හේතු වන්නේ මත්පැන් සහ දුම්කොළ භාවිතය, අවිධිමත් ආහාර රටාවන්, වායු දූෂණය, කෘත්‍රිම ආහාර පරිභෝජනය, ව්‍යායාම නොකිරීම යන ආදියයි.

මෙම තොරතුරු අනුව, ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සහ පිළිකා ආශ්‍රිත මරණ ඉහළ යමින් පවතින බව පැහැදිලිය. ඒ අනුව, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් පිළිපැදීම, නිරෝගී ආහාර පරිභෝජනය, ව්‍යායාම කිරීම, සහ වායු දූෂණය අවම කිරීම මඟින් පිළිකා වැළැක්වීමේ අවදානම අඩු කළ හැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *