2025 රජයේ අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරන පළමු අයවැය සනිටුහන් කරමින් 2025 රජයේ අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය කතාව සඳහා පාර්ලිමේන්තුව හෙට (17) පෙරවරු 10.30 ට රැස්වේ.
ඒ සඳහා සූදානම් වෙමින් අයවැය සකස් කිරීමේ අවසන් අදියර පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන පරිදි, මෙම සාකච්ඡාව පෙබරවාරි 13 වන දින පැවති අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු ඊට සහභාගී වී සිටියහ.
2025 මූල්‍ය වර්ෂය සඳහා රජයේ වියදම් සඳහා මුදල් වෙන් කිරීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ජනවාරි 9 වැනි දින ඉදිරිපත් කරන ලදී.
විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම (අයවැය කතාව) හෙට (17) පැවැත්වෙන අතර, දෙවැනි වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වැනිදා සිට 25 වැනිදා දක්වා දින හතක් පුරා පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා සෙනසුරාදා දින හතරක් ඇතුළුව දින 19ක් පුරා පැවැත්වේ. පනත් කෙටුම්පත තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 6.00ට සිදුකිරීමට නියමිතය.
අයවැය විවාද කාල සීමාව තුළ වාචික පිළිතුරු සඳහා ප්‍රශ්න පහක් සඳහා පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය වෙන් කෙරෙන අතර විවාදයම පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ.
2024 නොවැම්බර් 26 වැනි දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, 2025 අයවැය ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇත්තේ මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සහ මහජන අපේක්ෂාවන් සපුරාලීම සඳහා අපේක්ෂිත ජාතික සංවර්ධනය සඳහා පියවර ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරන
බවයි.