වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා කඩිනම් පියවර
ගල්ඔය – හිඟුරක්ගොඩ අතර 141ක් වන සැතපුම් කුණුව අසලදී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ල්මේන්තු පරිශ්‍රයේදී ඊයේ (20) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවති බව සඳහන් ය.
ප්‍රවාහන, පරිසර, ඩිජිටල් යන අමාත්‍යංශ, දුම්රිය හා වනජීවි දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ ආයතනවල ඉහළ නිලධාරීන් ද විවිධ පරිසර හා වනජීවී සුරකින සංවිධාන ද මෙම සාකච්ඡාව සඳහා එක්වී තිබේ.
එහිදී වනඅලි අනතුරු බහුල අදාළ ප්‍රදේශයේ දුම්රිය මඟ දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස හෙළිපෙහෙළි කිරීමටත්, ඩිජිටල් ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම පිළිබඳවත් වැඩි අවධානය යොමුවී ඇති බව සඳහන් ය.
දුම්රියවල ආලෝක පද්ධති ඉදිරියට මෙන්ම දෙපසටත් විහිදෙන ලෙස සවිකිරීම සහ කහ ආලෝක වෙනුවට සුදු පැහැති ආලෝකය භාවිත කිරීමටත් එම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇත.
මීට අමතරව සාකච්ඡාවේ දෙවන අදියර ලෙස හෙට (22) මෙම අනතුරු සිදුවූ ස්ථානයට සියලුම පාර්ශ්වයන් ගොස් පුළුල් නිරීක්ෂණයක් කර අදාළ තීරණ සහ තවත් ක්‍රියාත්මක කළ යුතු තීරණ ඇත්නම් ඒවා ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් ය.