සියලුම NGO සහ INGO ජාතික ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතට
සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ඇතුළුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කර ඇත.
1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත යටතේ ලියාපදිංචිය අනිවාර්ය කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන හෝ ක්‍රියාත්මක වීමට අදහස් කරන සියලුම විදේශීය රාජ්‍ය නොවන සංවිධාන (INGO) ලියාපදිංචි විය යුත්තේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ පමණි.
2007 අංක 07 දරන සමාගම් පනත යටතේ දැනටමත් ලියාපදිංචි වී ඇති එම රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ ද නැවත ලියාපදිංචි විය යුතු බව මහලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.
නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන සියලුම රාජ්‍ය නොවන සංවිධාන ද මෙම කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය. ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත යටතේ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම අනිවාර්ය බව අවධාරණය කරමින් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මූල්‍ය සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) ද ලේකම් කාර්යාලය පසුගියදා එළඹුණි.
ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටියට අනුව, ජාත්‍යන්තර සහ දේශීය සංවිධාන විසින් අදාළ ලේඛන ලේකම් කාර්යාලයට භාර දිය යුතුය. ඒවා නිෂ්කාශනය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට, විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ අදාළ රේඛීය අමාත්‍යාංශ වෙත යවනු ලැබේ. නිෂ්කාශන වාර්තා ලැබෙන තුරු එම ආයතනයට මාස හයක් සඳහා තාවකාලික සහතිකයක් නිකුත් කරන බව එම නිවේදනයේ දැක්වේ.
අමාත්‍යාංශවලින් නිෂ්කාශන වාර්තා ලැබුණු පසු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම වාර්තා පරීක්ෂා කර ගැටලුවක් නොමැති නම් ලියාපදිංචි සහතිකය නිකුත් කරනු ඇත. “නිෂ්කාශන වාර්තාවල ගැටලුවක් තිබේ නම්, ලියාපදිංචි ඉල්ලීම ප්රතික්ෂේප කරනු ලැබේ.”