ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට පළමු වරට විදුලි ත්‍රිරෝද රථ ලබාදීමේ විශේෂ ව්‍යාපෘතිය ආරම්භ වේ
ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍යා අංශය සඳහා විදුලි ත්‍රීරෝද රථ ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්යාල 16ක් සඳහා විදුලි ත්‍රීරෝද රථ පිරිනැමීමේ වැඩසටහනක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දා (21) බදුල්ලේ දී සිදු කෙරිණි.
ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලෝක බැංකු ආධාර මත ප්‍රාථමික සත්කාරක සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඩේවිඩ් පීරිස් සමාගම හරහා විදුලි ත්‍රීරෝද රථ ලබා දුන් මෙම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 35 කි.
අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි ක්ෂේත්‍ර ප්‍රවාහන කටයුතු වෙනුවෙන් මෙම ත්‍රී රෝද රථ භාවිතා කිරීමට නියමිතය.
මෙම ත්‍රී රෝද රථ බෙදාදීමේ අවස්ථාවට එක් වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත රජයේ විවිධ කටයුතු හා සේවා අවශ්‍යතාවයන් සඳහා විදුලි මෝටර් රථ භාවිතය වියදම් අවම කිරීම සඳහා වූ වැදගත් තීරණයක් බවයි.
එසේම පසුගිය කාලයේ රජයේ මැති ඇමතිවරුන් අධික වියදම් සහිත සුඛෝපභෝගී වාහන භාවිතා කළ නමුත් තම රජයේ බොහෝ මැති ඇමැතිවරුන් එම වාහන භාර නොගෙන සාමාන්‍ය කැබ් රථ භාවිතා කරන බව පැවසූ අමාත්‍යවරයා රටේ පවතින ආර්ථිකයට ගැළපෙන වාහන භාවිතා කිරීමට රජය තීරණය කර ඇති බව සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා, ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්. දයානන්ද මහතා ඇතුළු සෞඛ්‍යා නිලධාරීන් හා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.