ගාල්ල බන්ධනාගාරයේ ගැටුමට හේතුව වතුර බාල්දියක්
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ස්නානය කරමින් සිටියදී එක් රැඳවියකුගේ බාල්දියක ජලය තවත් රැඳවියන් කිහිප දෙනෙකු මතට වැටීමෙන් පසු ඉරිදා දින ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හටගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාර රැඳවියන්ගෙන් ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති මාතර සහකාර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ගැටුමට සම්බන්ධ රැඳවියන් තිදෙනෙකු ගාල්ල බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අධිකරණයට කරුණු වාර්තා කළ බවද ඔහු කියා සිටියා. සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 4 දෙනෙකු කරාපිටිය ජාතික රෝහලේ 58 වාට්ටුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ගාල්ල බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ, දැනට එහි රඳවා සිටින ‘අහුංගල්ලේ ලොකු පැටි’ සහ ‘කරන්දෙණිය සුද්දා’ යන ප්‍රබල කල්ලි නායකයන්ට අයත් දෙපිරිසක් අතර ගැටුම හටගෙන ඇති බවයි. මෙම කල්ලි දෙක අතර මීට දින පහකට පමණ පෙර බන්ධනාගාරය තුළදී ආරවුලක් ඇති වූ අතර ඉන් අනතුරුව යළිත් ඉරිදා එවැනි ගැටුමකට යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.
ගැටුමෙන් පසු ගාල්ල බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් යොදවා තිබූ අතර මේ වනවිට බන්ධනාගාරයේ කටයුතු සාමකාමීව සිදුකෙරෙන බවද වාර්තා වේ.